ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Wednesday, April 4, 2012

අතීත අවුරුද්දේ අවතාරය

චාර්ල්ස් ඩිකන්ස් ගේ "ක්‍රිස්මස් කැරෝල්"කතාව කියවපු අය දන්නවා නේ අර නපුරු මිනිහට හොද නරක කියාදෙන්න ආපු අවතාර තුන ගැන. එයින් පළමු කෙනා නේ අතීත නත්තලේ භුතාත්මය. ඉතින් අපි හිතුවා අපි කුඩාකල අවුරුදු සමරපු ආකාරය ඒ අයුරින් සිහිපත් කරන්න.ඔන්න පාසල් නිවාඩු දීපු ගමන් ගමේ සිට පුංචිඅම්මා කෙනෙක් හරි මාමා කෙනෙක් හරි අපේ නිවසට එනවා.
ඉතින් මාත් අයියාත් ඉක්මනින් සුදානම් වෙන්නේ අපි වැඩිපුරම ඉන්න කැමති තැන වන මාලියද්ද නම් සුන්දර වෙරළබඩ ගම් පියසට යාමටයි.

ඔන්න ඉතින් අපි එහාට ගිහින් අපේ සුන්දර නිවාඩුව ගතකරනවා.අඹ ගස්වල ගෙඩි පිරිලා.ජම්බු, පේර,වෙරළු,කෙසෙල් වගේම කටේ තියන්න බැරිතරං ඇඹුල් රස ලොවි පවා අපි කනවා.ගමේ මල්ලිලා අක්කලා එක්ක විතරක් නෙවි මාමලා,පුංචිලා එක්ක පවා අපි සෙල්ලං කරනවා.ක්‍රිකට් ගහනවා.ඒ විතරක් යැ නව වල පෙරලීම(කජු වලින් කරන සෙල්ලම),කල්ලි ගැසිම,කොටු පැනිම පවා කරනවා.

ටික දවසකින් සීයා ගේ පිටුපස තියන සීනි අඹ ගහේ අපිට ඔන්චිල්ලාවක් හදලා දෙනවා.මුලින් කාටහරි කියලා තල්ලු දම්මවා ගත්තත් ටිකකින් අපි රුකුල් අරං පදිනවා. කඹ පොටවල් අත්තේ ඇඹරෙන කිටි කිටි හඩ මැද්දේ අපේ සිනා හඩ පැතිරෙනවා.

අවුරුදු දවසට කලිං දවසේ විතර කොළඹ ඉන්න මාමා එනවා. එයා එනකොට අපිට චොකලට්,ඇපල්,මිදි ගේනවා.ඒ නිසා අපි එයා එනකල් මග බලං ඉන්නවා.තව දෙයක් එයා අනිවාර්යයෙන් ගේනවා, ඒ තමා රතිඤ්ඤා සහ අහස්කුන්ඩු(අහස් කූරු).අවුරුදු දවසට අපේ අම්මා හා තාත්තාත් අපිටත් අනිත් අයටත් ඇදුම් පැලදුම් අරං ගමේ ගෙදර එනවා.කලින් සාදා සුදානම් කරනලද කැවිලි ජාතිවලින් මේසේ පිරෙනවා.ගමේ ගෑණුකෙනෙක් ඇවිල්ලා කැවුම් හදලා දෙනවා.ඒ හදන විදිය බලං ඉන්න ආසයි(හදපු ගමන් එකක් කන්න ඊට ආසයි)දොදොල් නං හදනවාමයි. මුං ගුලි, කජු දාපු අලුවා, වැලිතලප, කොකිස් මෙන්ම මාමා ගේන කේක් පවා කිරිබත් එක්ක මේසෙ සරසනවා.

ආ... තව පොඩ්ඩෙන් අමතකවෙනවා සියා අවුරුද්දට දවස් කීපයක් තියද්දි කරන තව දෙයක් තියනවා. ඒ තමා කෙසෙල් දුම් ගැසීම(ඉදවිම).මුලින්ම මදක් උස් තැනක තරමකලොකු වලක් කපනවා(ටිකක් ගැඹුරු කොටු එකක්) ඊලගට ඒ පතුලට අමු බිලිං කොළ දානවා ඒ උඩින් කෙසෙල් ඇවරි පිලිවෙලකට තබනවා.නැවත බිලිං කොළ අතුරලා වලේ කට මත ලෑලි තියලා වහනවා.හැබැයි පතුල සිදුරු කල පොල් කටුවක් ලෑලි අතර තියනවා.ඒ කටුවෙ අනිත් කොටස මගින් අර කටුව වහනවා (ඒකෙත් උඩ සිදුරක් තියනවා) දැන් පොල් ගෙඩිය වගේ මයි.ඒක උඩ මතුවෙන්න තියලා පස්වලින් වහනවා.ඊළගට අර වැසුම් කට්ට ඇරලා ‍වියළි කෙසෙල් කොළ අදියත් ගිණි අගුරුත් දාලා ආයේ වහනවා ඊලගට උඩ සිදුරට පිඹිනවා.දුම් ටික යට තියන කෙසෙල් වලට වැදුනාම ඒවා ඉදෙනවා. එහෙමයි කෙසෙල් ඉදවන්නේ.

ඔය විදියට අවුරුදු ඉවර උනාම පාසල මතක් වෙනවා.ගෙදරවැඩ සිහිවෙනවා.මොළේ රත් වෙනවා. ඉතිං ඉතිරි දින වල ඒවා කරනවා.

පොඩි එකාගේ රචනාව වගේ උනාට ඔන්න ඔහොමයි අවංකවම අපේ අතීත අවුරුද්ද. අදත් එහෙම ඇත්නං කොච්චර හොදද?

(WAUS)

3 comments:

  1. අවුරුද්ද කියන්නේ ඉස්සර කොච්චර ආසයිද,තාත්තා එක්ක වලක් කපලා කෙසෙල් කැන් ඉදවන්න ඕනේ..දවස් දෙකක් තුනක් බිලිං කොල දාලා දුං ගහනවා..ඊට පස්සේ උණ බට තුවක්කුවක් හදලා භූමිතෙල් දාලා සති ගානක් පත්තු කරනවා...

    ReplyDelete
  2. හොදට දැනුන ලිපියක්
    අපි පුංචි කාලෙත් ඔය හා සමාන අත්දැකීම් තියෙනවා ඒත් ලොකු වෙද්දී කාලයත් එක්ක සියලුම දේ වෙනස් වෙලා.

    ReplyDelete
  3. සමාවෙන්න ප්‍රතිචාර දක්වන්න පමා උනාට.මේ දිනවල බොහෝ අය වගේම මාත් කාර්ය්‍ය බහුල උනා නේ!ඉහතින් අදහස් දක්වන්න ඉදිරිපත්වූ මිතුරන් දෙදෙනාට බොහොම ස්තූතියි.අතීතය මතකයේ රදවාගෙන සිටින ඔබ සියලුදෙනාට එදා අවුරුදු මිහිර මෙදාද ලැබේවායි ඉතසිතිනි පතමි.
    (WAUS)

    ReplyDelete