ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Thursday, June 12, 2014

පබිලිස් ගේ අබිලික් වැඩ.

අද පොසොන් පුන් පොහොය දිනයයි. අනුබුදු මිහිඳු හිමියන් ලක් දිවට වැඩමවා ලංකාව සියළු සතුන්ට අභය භූමියක් මෙන්ම බුද්ධිමතුන්ට නිවන් මග පෙන්වන ක්ෂේම භූමියක් කළ බව ඔබ අප සැවොම දනී. ඉතින් එදා සිට අද දක්වා සැදැහැවත් බොදු ජනයා පොහෝ දිනයට බොහෝ පිං කම් කරති. ඒ පිං කම් විවිධ ස්වරූප ගත්තත් කෙසේ හෝ හොඳ දේ කෙරෙන නිසා අපි මැදහත් සිතින් ඒ දෙස බලා තුටු වෙමු.

ඒත්...

අද අපි මහත් කණගාටු දායක පිං(හෝ පව්)කමක් දුටිමු. ඒ හිරු ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහන අතරතුරයි. රටේ නමක් දිනා සිටින සූපවේදි පබිලිස් සිල්වා ප්‍රමුඛ පිරිසක් සෝමාවතී සෑරදුන් වෙත බුද්ධ පූජාව ලෙස "තිරුවානා ගල්" හොද්දක් පූජා කිරීමයි.

ඔහු දක්ස සූපවේදියකු (ගමේ බසින් "වැඩ්ඩෙක්") විය හැකිය. ඔහුට ඕනෑම දහ ජරාවක් ආහාරයක් බවට පෙරලා නමක් යොදා මේ රටේ සිටින තෘණ භක්ෂක මනුසතුන්ට පිලිගැන්විය හැකිය.ඒ ඔහු මාධ්‍ය මගින් ඒ තරමටම පුම්බා ඇති බැවිනි.

නමුත්...

අනන්තජින වූ තුන්ලොකාග්‍ර වු ‍ගෞතම ශ්‍රී සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ දක්ෂිණ ශ්‍රී දළදා වහන්සේ වැඩ වෙසෙන සෝමාවතී සෑ රදුන්ට ගල් හොදි පූජා කරන්න ඔහුට හයියක් ආවේ කෙසේ ද? අප බුද්ධ පූජා තබන්නේ හිස් ගඩොල් ගොඩවල් වලටවත් මැටි ගොඩවල් හෝ ලෝහ ගොඩවල් වලට නොව සම්මා සම්බුදු රජාණන්වහන්සේට ය,උන්වහන්සේගේ අනන්ත ගුණ මහිමයටය.

ඉතින් අද බුදු හිමි වැඩ සිටියානම් ඔය පබිලිස් උන්වහන්සේට ගල්හොදි පුදයි ද? පිදුවත් මේ මුග්ධයා කෙරේ ද පතල මහා කරුණාවෙන් උන්වහන්සේ එය පිලිගනු ඇත. ඒත් පුහුදුන් අපට මෙය මහත් වේදනාවකි, මේ බූ...ට බුදුන් පුදන්නට වෙන දෙයක් මේ රටේ නැති ද? අඩුම ගනනේ දළදා මාලිගාවේ මෙවන් පූජාවක් තබන්නට එම ස්ථානයෙන් මොහුට අවසර ලැබෙයි ද? නැත! එසේ නම් ඇයි සෝමාවති පුද බිමේ මෙම අඩු සැලකිල්ල!

හිරු මාධ්‍ය ජාලයේ පාලකයින් ගේ තරම ද අද ලොවට හෙලි වුනා යයි අපට හැඟේ.අමුලිකා ශ්‍රද්ධාවේ තරම...!

අපේ අදහස නම් හිරු ආයතනයත්,මැටි මෝල් පබිලියාත් සියළු ලෝකවාසි බෞද්ධයන්ගෙන් සමාව ගතයුතු බවයි.

ප.ලි.(13/06/2014 - 20:44)
මේ පිලිබඳ වැඩි දුර තොරතුරු සඳහා පහත ලින්ක් එක භාවිතා කරන්න... එහි 4වන විනාඩියට පසු හොඳින් බලන්න.
http://www.youtube.com/watch?feature=player_embedded&v=U63ktcPj6eY&list=PLN-MLMEqduVnW-Usb_vz9wuA3wpvU2Mwk
                                                                             

Sunday, June 8, 2014

ගම්මංපිලගේ සීයේ අය-වැය කෝ?!

ආරිය සිංහල ඇඳුමින් සැරසී නිබඳ සිනා මුවින් අප අමතන සුපේෂල ශික්ෂාකාමී පරම පවිත්‍ර දේශපාලක උතුමෙකු වන උදය ප්‍රභාත් ගම්මංපිල මහතා පසුගිය බස්නාහිර පළාත් සභා ඡන්දයට ඉදිරිපත් වූ බව සියළු ලාංකිකයන්ට(විශේෂයෙන්ම සිහළුන්ට) මතක ඇතැයි අපි සිතමු.

එතුමානෝ ඡන්ද වියදම් සෙවූ ආකාරය මතක ද?

හුදී ජනයා සිය පහන් සංවේගයෙන් රුපියල් සියය බැගින්(අවම) පිරිනැමූ බවත් දිනෙන් දින ගිණුම වර්ධනය වූ බවත් ඡන්ද කාලයේ නැවුම් වීදුරු තහඩුවක් මෙන් පැහැදිලි විනිවිද ස්වභාවයකින් ඉදිරිපත් කෙරිණි.තමා ඡන්දයට පසුව(මතක ඇති පරිද මාසයකින්) මේ සීයේ සාධු ගිණුමට සිදුවූ දේ "අය-වැය" ලෙස ඉදිරිපත් කරනුලබන බව සූකිරි සිනා මුවින් ම පැවසූ බව අපිට දැන් ඡායාමාත්‍ර ලෙස මතක් වන්නේය. මේ ලිපිය කියවන ඔබ යම් ලෙසකින් එම වාර්ථාව දුටුවේ නම් අපව ද දැනුම්වත් කරනලෙස ඉල්ලා සිටිමු.

ඇතැම් විට ඔවුන්ගේ ධර්ම රාජ්‍යයේ කාලය අපේ ඔරලෝසු වේලාවට වඩා වෙනස් වීම හේතුකොට තවම ඊට කාලය නොපැමිණි නිසා ඉදිරිපත් නොකලා ද විය හැකිය.ඇතැම් විට තවම ගණිනවා විය හැක.මන්ද එතුමාට ඇති ගිණියනොහැකි වැඩ අතරේ ලැබෙන සුළු විවෙිකයේ දී මේ කටයුතු ද කෙරෙන නිසා පමා විය හැකි බව අප තේරුම් ගතයුතු බව මේ ලියන අතරතුර තේරුම් ගියෙමු.

"සිංහලයාට ඕනෑම දෙයක් මතක තියන්නේ මාසයයි" යනුවෙන් කිසියම් අමනයෙකු කී බව සිංහලයන් ලෙස මතක තිබීම අපිටම පුදුමයක් වුවත් සිංහලයන් ගැන හොඳින්ම දන්නා එහි උරුමකරුවන්ට එය ලියා තබාගෙන නිතර මෙ‍නෙහි කරන පිරිසක් ලෙස මෙවන් උතුමන්ලා ද පුදුම වනු ඇති ද?

සියයේ අය-වැය නොදුටු පිරිසක් ලෙස අපිට පැවසිය හැකි එකමදේ නම් "සිනහවෙන් හෝ කථාවෙන් බෑ මනින්නට මිනිසා" යන්න පමණි.

දකුණේ අපිට නම් මේ පිලිබඳ ලොකු දුකක් නැතත් මෙසේ මේ ගැන සිහිපත් කලේ සිංහලයා ගැන ඉහත අමන ප්‍රකාශය කල ත්‍රස්තවාදී අමනයාගේ කථාව බොරු කිරීමට හා බස්නාහිර මිනිසුන් ගේ අදහස දැනගැනීමටත් පමණි...