ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Tuesday, January 31, 2012

කතා බහ

මාතෘකාව- කුස, පබා සහ අපේ හාමුදුරුවෝ

හා හා පුරා කියලා කතාබහක් පටන් ගන්නයි හදන්නේ.හැබැයි ඒක පටන් ගන්න උනේ අකමැති මාතෘකාවකින්.අපේ රටේ දක්ෂ නිර්මාණකරුවන් රැසක් එක්වෙලා චිත්තරපටියක් හදලා කුස පබා කියලා.වැඩේ හොදයි. අපි ඊයේ ටී.වී එකේ දැක්කා අපේ රටේ ප්‍රසිද්ධ හාමුදුරුවරු රැසක් ආයෙත් සිනමාහලට වැඩලා ඉන්නවා.(ආයෙත් කිව්වෙ කලිනුත් අබා බලන්න වැඩිය නොවැ.) සාදු සාදු!!
 "නච්ච ගීත වාදිත විසූකදස්සන...." සිල්පදය අට සිල්වල තිබුනට, උපසපන් භික්ෂූන්ට අදාල නැතුව ඇති මයි හිතේ...

 දැන් ඉතින් කියාවි ගුණදොස් බලන්ට වැඩිය කියලා.ඒවා ඉතින් අතිශය සාසනික කටයුතු නොවැ.මේ රටේ සොයාබලන්ට වටින වැදගත් වෙනත් සාසනික කාරණා නැති එකේ ඕවා වත් සොයන්ට එපායැ.හොදා හොදා. එක අතකට එක එක දේශපාලුවන්ට බත් බැලකම් කරනවට වඩා හොදයි ඒක.

අනේ අපේ බුදු හාමුදුරුවෝ අද වැඩහිටියනම්,පාරිලෛය වනයට නෙවි වඩින්නේ මේවා නො පෙනෙන නො ඇසෙන වෙනත් මාණයකට.
අපරාදේ කියන්න බැ ඕනම සාසන විරෝධී වැඩක් කරලා ඒවට උත්තරත් කොහෙන් හරි හොයලා දෙන්න අපේ උන්නාන්සෙලා දස්සයි.(ඒවා කලින්ම හොයලා තියාගන්නවා ඇති මයි හිතේ.) වැරදිනම් කරන්නෙම නෑ.

ඔය සට කපටකම්(ප්‍රයෝග) රටේත් සාසනේත් දියුනුව වෙනුවෙන් හිතන්න පුලුවන්නම් කොච්චර හොදද.
මේ සටහන කියවලා  හිතන්න එපා අපි ආර්ය මහා සංඝරත්නයට චොදනා කරනවා කියලා.

මේ රටේ දුප්පත් පන්සල්(ධන ලාභ නොලබන) වල වැඩ වෙසෙමින් අනන්ත සසරදුක තමන් විසින් අවබෝධ කර ගනිමින් තම අසරණ දායකපිරිස ද ඒ උතුම් අවබෝධය කෙරෙහි යොමුකරවන දහස් සංඛ්‍යාත භික්ෂු සංඝයා කෙරේ ඇති ගෞරවයෙන් සහා මේ උතුම් දහමට වෙන මහ විනාශය ගැන ශෝකයෙන්ම මෙය ලීවෙමු.

මේ දහම පවතින්නේ භික්ෂු,භික්ෂුණී,උපාසක,උපාසිකා යන සිව්වනක් පිරිස නිවැරදි පිලිවෙත් හි පිහිටන තුරු පමණි.එයින් ද ප්‍රමුඛ වගකීම ඇත්තේ බුදු පුත් මහා සංඝ රත්නය වෙතයි.

එහෙයින් තරහ අවසර,හාමුදුරුවනේ ගිහියන්ට සිනමාපටවල රස ගුණ නොව අමා දහමේ රස ගුණ කියාදෙන්න,දේශපාලුවන්ගේ අගය නොව බුදුන්ගේ අගය වටහා දෙන්න.


එක් එක් දායකයාගේ උස් මිටිකම් අනුව කරන වැනුම් නවතා බුදුගුණ වනන්න. ඔබ රැකෙන්නේ දායක පිරිස නිසා නොව අනන්ත ගුණ  ඇති බුදු හිමියන් නිසා හෙයින් උන්වහන්සේ ගේ දහමටත් උන්වහන්සේටත් ද්‍රෝහී නොවන්න. ඔබට අවැසි ලෙස දහමත්, විනයත් ඒ අතට මේ අතට නො නමන්න.

උතුම් සද්ධර්මයේ නාමයෙන් තරහ නොගෙන මේ කරුණු විග්‍රහ කරගනු ලැබේවා!

සංවාදයට විවෘතයි.
                                                    පසු සටහන.
ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේලා ඇතමෙක් කරන මෙවන් ක්‍රියා අපේ ගමේ පන්සල්වල වැඩ වෙසෙන පොඩි හාමුදුරුවන් වහන්සේලා විසින් ආදර්ශයට ගතහොත් අනාගත දිනක ගමක පන්සලක ඇතිවිය හැකි දෙබසක් පහත දක්වමු. එය කියවා සිනාසෙනවාද හඩනවාද යන්න ඔබම තීරණය කරන්න.

උපාසකතෙමේ තම බිරියගේ සත් දින බණ සදහා ස්වමින්වහන්සේට ආරාධනා කිරීමට පන්සලට පැමිණේ,ඇබිත්ත කොලුවා දායක පිරිස විසින් හද බැතියෙන් පරිත්‍යාග කළ බලුපැටව් පිරිසට දහවල් ඉතිරිවූ දාන කොටස විසිකරමින් සිටී...

උපාසක: ලොකුහාමුදුරුවො ඉන්නවැයි?
ඇබිත්තයා: උන්වහන්සේ සැතපෙන්ට ගියා, අද රැ පිරිතක් නෙව.
උ: අනේ සාදු!!
     මම මේ ආවේ අපේ මායියගේ හත්දොහේ දානෙට ආරාධනා කොරන්න,පොඩි හාමුදුරුවො ඉන්නවැයි?

ඇ:මාමා ආපු වෙලාව හරි නෑ, උන්වහන්සේලා දෙනමම ෆිල්ම් එකක් බලන්න ටවුමේ හෝල් එකට වැඩිය නෙව.
උ: අනේ සාදු... ඇහ් මොකක්!!?

ඇ: ඇයි මොකද?
උ:කීයට ද ආයිත් පන්සලට වඩින්නේ?

ඇ:කියන්න බෑ.. කොහොමත් හය විතරවෙයි, හැබැයි දැන්ම හොල් එක ලගට ගියොත් මුණගැහෙන්න පුලුවන්.
උ: හොදා, මං ගෙහුං එන්නං

උපාසක සිතයි:"මදැයි වෙච්චි දේ.දැං ඉතින් හාමුදුරුවරු හොයන්න ‍නාඩගං මඩු ගානෙත් පලයල්ලකෝ,මේව අහන් නැතුව මාත් මායියත් එක්කම ගියානං හරි"

7 comments:

  1. ඇත්ත සීන් එකක්ද බොල ?

    ReplyDelete
  2. අහේතු කාලේන කජ්ජේන පූලන් කිව්වලු...

    ReplyDelete
  3. මචංලා, ඔය කියන කතාව ඇත්ත. නමුත් මේ වගේ බෞද්ධ සාහිත්‍යය මූලාශ්‍ර කරගනිමින් නිර්මාණය කළ චල-සිතුවමක් හාමුදුරුවරු බැලුවට කමක් නෑ නේද? මම කියන්නේ ඒ නිර්මාණය මගින් දැන් දැන් අමතක වෙලා යන, කුණුකූඩෙට යන කිට්‍ටුවට ඇවිදිල්ලා තියෙන, බෞද්ධ සාහිත්‍යයට ආපහු යම් ප්‍රබෝධයක් ඇති කරන්න තරම් සමත් හැකියාවක් තිබිය හැකිනම්; බෞද්ධ භික්ෂූන් වහන්සේලා වැඩලා ඒක නරඹලා ගිහි සමාජය වඩ වඩාත් ඒකට යොමු කරන එක; එක අතකට හොඳයි නේද?

    මම මේ කියූවේ නිර්මාණයක් විදිහට ඒකේ කිසියම් ආගමික වටිනාකමක් ඇත්නම් එවන්නකට භික්ෂූන්ගේ සහය ලැබීමෙහි වරදක් නැතැයි කියන එකයි. ඒ මිස 'හැම එකක්ම හාමුදුරුවරු නැරඹූවාට කම් නැතැයි' යන්න නොවෙයි.

    සැබැවින්ම මේ වගේ කතා පාදක කොටගෙන කෙරෙන නිර්මාණ අද අපේ රටට අවශ්‍ය දෙයක්! මෙය හුදෙක් තවත් එක චිත්‍රපට නිෂ්පාදනයක් ලෙස නොසලකා එලෙසින් සැලකුවහොත් මේ වගේ නිර්මාණ ස්වාමීන්වහන්සේලා නැරඹිය යුතුයි. නමුත් ඒ ඉදිරියේදී සිදුවන මෙවන් නිර්මාණ දුරුවලතා සහ අඩුපාඩු මගහරවා ගෙන වඩාත් සාර්ථක ලෙස බෞද්ධ හරයන් ඉස්මතු වන අයුරින් සිදු කිරීම සඳහා අවැසි උපදෙස් සහ අනුශාසනා ලබා දෙන අරමුණින් පමණයි.

    නමුත් ඔබ කියා ඇතිවා සේ; මෙය නිර්මාණය කළ පසුව වැඩම කර නරඹනවාට වඩා මෙය නිර්මාණය කෙරෙන අතර තුර මේ වෙනුවෙන් උපදෙස් සැපයීමට සහ අදීක්ෂණය කිරීමට සංඝයා වහන්සේ පිරිසක් යෙදවූවානම් මැනවි. එවැන්නකට සංඝ පීතෲවරුන්ගේ සිත් යොමු වේවා! මෙවන් බෞද්ධාර්ථ ‍රැගත් වටිනා නිර්මාණ තව තවත් බිහිවේවා!

    කෙසේවුවත්, සිනමාවේ හසල දැනුමක් ඇති අයෙකු කළ පමණින්, ප්‍රවීණයෙකු කළ පමණින්, අද්විතීය නළු-නිලියන් යොදාගත් පමණින්, සිනමා කෘතියක ගුණ අගුණ නිශ්චය කළ නොහැකි නිසා මෙය නැරඹීමෙන් අනතුරුවද මා හට මේ මතයේම සිටිය හැකි වෙතැයි කියාද අපේක්ෂා කරමි.කෙසේ වෙතුදු අනාගතයේ උද්ගත විය හැකි මේ තත්ත්වය හුවා දැක්වීම ගැන ස්තුතිවන්ත වෙමි. ඒ වැනි තත්ත්වයක් ඇති වන්නට යන්නේනම් ඒ උදෙසා යමක් කිරීමට ඔබද පෙරට එනු ඇතැයි අපේක්ෂා කරමි.
    ජය!

    ReplyDelete
    Replies
    1. ඔබේ වටිනා අදහස් සියල්ලට ස්තූතියි!

      අප අදහස් කරන්නේ බෞද්ධ සාහිත්‍ය නිර්මාණවල(අඩුම තරමින් ගද්‍ය,පද්‍ය ලේකන නොවන) ගුණාත්මක භාවය සෙවීම බුද්ධිමත් ගිහි පිරිස විසින් සිදුකළයුතු බවයි. තව ද අප මෙහිදී දේශපාලකයන් හා අනෙකුත් බලවතුන් කරන ඕනෑම නින්දිත ක්‍රියාවක් අනුමත කර ප්‍රකාශ නිකුත් තරන ලජ්ජා/භය දෙක වත් නැති ශ්‍රමණ වේෂධාරීන් ගේ ක්‍රියාවන් ද විවේචනාත්මකව දැකීමට උත්සාහ කළෙමු.

      තව දුරටත් අප හා රැදීසිටින්න යැයි අපි ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු!

      Delete
    2. ඔබගේ එම මතය අනුමත කර සිටිමු. ස්වාමීන්වහන්සේලා හැර මෙවන් කටයුතු වලදී අවැසි දායකත්වයත් උපදේශනයත් සැපයිය හැකි ගිහි බුද්ධිමතුන් ඕනෑ තරම් සිටී. ඔවුන් රූපවාහිනී නාලිකාවන්ට ගෙන්වා දායක කරගත්තාට පමණක් මදිය. ඔවුනගේ සෘජු දායකත්වය මේ ආකාරයේ නිර්මාණ කාර්යයන්හිදී ලැබිය යුතුව ඇතැයි යන්න ඔබගේ අදහස වී තිබේ. එය සහතික සත්‍යයකි. ඔවුනගෙන් ලබා ගත හැකි නිසි ප්‍රයෝජනය සමාජයට ලබා දීම සඳහා එලෙස කටයුතු කිරීම උචිතය.

      ඔබ කියන්නා සේ නමක් දිනූ නිර්මාණ කරුවෙක් විසින් යම් නිර්මාණයක් කර භික්ෂූන් වහන්සේලාට නරඹා වදාරන්නැයි ආයාචනය කළහොත් එහි අන්තර්ගතය කෙබන්දක් වුවද අනාගත භික්ෂූන් වහන්සේලා එයට පෙළඹෙන තත්ත්වයක් මේ ඔස්සේ නිර්මාණය වීමට ඉඩ තිබේ. හාමුදුරුවරු දේශපාලනයට ආවේද එසේමය. යන්ත්‍ර-මන්ත්‍ර ගුරුකම් වැඩ කරන්නට ගත්තේද එසේමය. ටිකින් ටික ඇ‍රැඹී දැන් පිළිලයක් බවට පත්ව ඇත.

      ඔබ කියන්නා සේ මෙවන් තත්ත්වයක් බොදු දහමට වින කැටීමේ මගක් ලෙස උපායමාර්ගිකව යොදාගැනීමේ හැකියවක් ඇතැයි යන්න පිළිගත යුතු කරුණකි. සංඝයාවහන්සේද පෘතග්ජන පිරිසක් බැවින් කෙමෙන් කෙමෙන් මේ තත්ත්වය වඩා වර්ධනය කරවා. බුදු දහම වැනසීමේ තැතක් පවා මේ ඔස්සේ ක්‍රියාවට නැගීමට නොබැරිය. එසේ හෙයින් ඔබගේ මතය අනුමත කර සිටිමි. එවැන්නක් වූවොත් ඔබ කීවා සේම සඟුන් සොයා යෑමට සිදුවන්නේ සිනමාශාලවන්ට මිස පන්සලට නොවීමේ තැනට වැඩ සිදු විය හැකිය.

      එසේම බුදුන් වදාරා ඇති පරිදි භික්ෂූ-භික්ෂුණී, උපාසක-උපාසිකා යන සිව් පිරිස සිටින්නේ එකිනෙකාට උපකාර කරගනිමින් දෙලොවටම වැඩ සාදා ගැනීම පිණිසය. එසේ හෙයින් සංඝයා වහන්සේ ගිහියන්ට මග විමසා, අරුත් පහදා දෙන්නා සේම, උන්වහන්සේලා අතින් සිදුවෙන කිසියම් වරදක් දු‍ටු කළ කරුණාවෙන් එය පෙන්වා, පහදා දීමට ගිහියාට අයිතියක් සේම වගකීමක්ද ඇත. එම වගකීම ඉ‍ටුකිරීමට පෙරට ඒම ගැන ස්තුතිවන්ත වෙමි. දිගටම මේ ගමන යන්නට අවැසි ශක්තියත් ධෛර්යයත් නිබඳවම ලැබේවායි ඉත සිතින් පතනෙමු!.

      Delete
    3. ඔබේ වටිනා කාලය අපවෙනුවෙන් කැපකර හරවත් අදහස් දැක්වීම පිලිබද නැවත ස්තූති කරමු.තවත් මෙවන් කාලෝච්ත ප්‍රස්තූතයක් සමග ලගදීම හමුවෙමු!එහිදී ඔබේ මෙවන් අදහස් හෝ අපට පටහැනි අදහස් වුවද ඉතසිතින් බාරගැනීමට අප සුදානම්.හැකිනම් මේ පිලිබද ඔබේ මිතුරන් ද දැනුවත් කරන්න.

      Delete